Wednesday, January 16, 2013

යශෝධරාව නැවත දැකීම




  යශෝධරාව නැවත දැකීම

 


සිංහල සංස්කෘතියේ ශක්තිමත් පදනම වූයේ ගැහැනිය යි. විශේෂයෙන් මහින්දාගමනයත් සමග ම මෙරට ප‍්‍රචලිත වූ බොදු සමය සිංහල සංස්කෘතියෙහි ප‍්‍රගමනය උදෙසා වෙසෙසින් ඉවහල් විය. යශෝධරා දේවිය සිංහල ගැහැනියගේ පරමාදර්ශී කාන්තාව වන්නේ ද දේශීය සංස්කෘතියෙහි දැකිය හැකි එකී බෞද්ධ මුහුණුවර නිසා ය.
යශෝධරා දේවිය අපට වැදගත් වන්නේ ඇයට" ශ‍්‍රී ලංකාවාසීන් බහුතරයකගේ වන්දනාමානයට පාත‍්‍ර වූ ගෞතම බුදුරජාණන්වහන්සේ සමග ඇති නෑකම නිසා ම නො වේ. ඈ සිද්ධාර්ථ කුමරුන් හා සරණප‍්‍රාප්ත වූ භාර්යාව යි. එසේත් නැතිනම් රාහුල කුමරුගේ මව යි. තමන් උපන් ගෙයි පහන් දැල්වීමට අනවශ්‍ය තරමේ ශරීර ප‍්‍රභාවක් සහිත ව බිම්බ රූපයක් බඳු වූ රූසිරින් යුතු බැවින්  ඕ තොමෝ බිම්බා නම් වූවා ය. විවාහප‍්‍රාප්ත වීමෙන් අනතුරු ව මහත් වූ යස පිරිවර දැරූ හෙයින් යශෝධරා නම් වූවා ය. පසුව රාහුල නම් පුතණුවන්ගේ මව් වූ හෙයින් රාහුලමාතා ලෙස ද ප‍්‍රකට වූවා ය. පැවිදි වීමෙන් අනතුරු ව භද්දකච්චායනා තෙරණියෝ නම් ලදහ. ඒ සෑම කරුණකට ම වඩා ඈ වැදගත් වන්නේ සංසාරයෙන් සංසාරයට භාර්යාවක ලෙසින් සිද්ධාර්ථ බෝසතාණන් වෙනුවෙන් කරන ලද අසමසම මෙහෙවර නිසා ය.
මෙ රට සම්භාව්‍ය සිංහල සාහිත්‍යය පැහැදිලි ව ම බෞද්ධ සාහිත්‍යයෙන් පෝෂණය වූවකි. පද්‍යයෙන් බුදු සිරිතක් කිරීමේ නියමයට යටත් වූ සිංහල කවීන්ට සේ ම ගද්‍ය රචකයන්ට ද බුද්ධ චරිතය අමතක කිරීමට නො හැකි විය. අමාවතුර, බුත්සරණ, මුව දෙව්දාවත, කව්සිළුමිණ ආදි නොයෙකුත් පද්‍ය, ගද්‍ය ග‍්‍රන්ථ ආදිය රචනා කරමින් අත්‍යුත්කර්ෂයෙන් බුද්ධ චරිතය වර්ණනා කරන්නට ඔවුහු කිසිවිටෙකත් පසුබට නො වූහ. යශෝධරාව අපට හමුවන්නේ එසේ වර්ණනයට පාත‍්‍ර වූ ජාතකකතා ආදියෙනි. අසා සිටින හුදී ජන පහන් සංවේගය උදෙසා රචනා වූ ජාතක ගද්‍ය, පද්‍ය කාව්‍ය ඔස්සේ අපි ඈ හඳුනා ගතිමු. එහෙත් ඒ සෑම ජාතක කතාන්තරයකින් ම යශෝධරාවගේ අප‍්‍රමාණ ස්වාමිභක්තිය නිරූපණය වුව ද අප ඈ අඳුනන්නේ තවත් එක් කාන්තාවක ලෙස පමණකි. කතාකරුවන් ද අපට ඈ හඳුන්වා දෙන්නේ එලෙසිනි. කාන්තාවක ලෙස, විශේෂයෙන් සංසාරයෙන් සංසාරයට එක ම පිරිමියකු ප‍්‍රාර්ථනා කරමින් පැමිණෙන මේ භාර්යාව ඊට වඩා වෙනස් තලයක සිට අපට දකින්නට ලැබුණේ නම්, ඒ දඹදෙණි යුගයේ රචිත පූජාවලියෙන් සහ මහනුවර අවදියෙහි රචිත යසෝදරාවතෙන් පමණකි. මයූරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර නාහිමියන් විසින් විරචිත පූජාවලියෙන් එතෙක් මෙතෙක් අප හොඳින් අසා ඇති හොඳින් දැන සිටි, එහෙත් හඳුනා නො ගත් යශෝධරාව අපට හොඳින් ම දැක ගන්නට ලැබුණි. ඒ යශෝධරා අපදානයෙනි. යසෝදරාවත රචනා කළ කතුවරයා ද කවීන්ට අමතක වු යසෝදරාව අප හමුවට කැඳවා ගෙන එන්නේ අප‍්‍රමාණ සෙනෙහසකින් හදවත පුරවාලමිනි.
තෙමා වැටේ මගෙ සළුපිළි නෙත් පුර     වා
අමා රසක් වැනි හිමි සඳ සිහිවෙන          වා
දමා කුමරු වැඩියා මට සිහිවෙන            වා
මෙමා ඇර ලියෝ ලෙව් තුළ ඇද්ද ත      වා
ඈ එසේ පවසන්නේ බෝධිසත්ත්වයන් සම`ග තමා ගෙවූ අතීතය සිහිපත් වීම නිසා ය. සැබවින් ම බුදුසසුනෙහි පැවිදි වී රහත්, මහ රහත් භාවයට පැමිණීම දවසකින් දෙකකින් සිදු කළ හැකි ලෙහෙසි පහසු කටයුත්තක් නො වේ. ඒ සඳහා බොහෝ කල්ප කාලයක් පෙරුම්දම් පිරිය යුතු ය. අසූ මහා ශ‍්‍රාවකයන් කල්ප ලක්ෂයක් ද අග‍්‍රශ‍්‍රාවකයන් එකාසංඛ්‍යය කල්ප ලක්ෂයක් ද පෙරුම් පිරිය යුතු වේ. සම්මා සම්බුද්ධත්වයට පත්වීමට නම් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු ය. සිද්ධාර්ථ බෝසතාණන් බුද්ධත්වය පතා එසේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරද්දී යශෝධරාව ද එතුමන් සම`ග එක්ව එම සම්පූර්ණ කාලය ම එනම්, සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂය ම පෙරුම් පිරුවා ය. දීපංකර බුදුන් පාමුලෙහි සුමේධ තාපසවරයා විසින් නියත විවරණ ලද ආත්ම භාවයේ පටන් ම යශෝධරාව එතුමන් සම`ග පාරමී පිරූවා ය. එදා ඈ සුමිත‍්‍රා නම් පරිබ‍්‍රාජිකාව යි. දීපංකර බුදුන්වහන්සේ විවරණ දුන් පරිද්දෙන් ගෞතම බුදුන් නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන සිද්ධාර්ථ කුමරුන්ගේ භාර්යාව වන යශෝධරා දේවිය මම් ම වෙම්වා, ඒ රාහුල නම් පුත්රුවනගේ මව මම් ම වෙම්වා, මම එතුමන්ගේ පාරමිතාවට අනුබල වෙම්වායි මහනෙල් මල් අටක් පුදා ප‍්‍රාර්ථනා කළ ගැහැනිය ඇය යි. ඒ ප‍්‍රාර්ථනාව අනුව දීපංකර බුදුන්ගෙන් විවරණ ලැබූ කාන්තාව වූයේ ද ඇය යි.
මුව ජාතියේවද පළමුව උපන්                නේ
එම ජාතියේ සිට මම නෑර ම එන්           නේ
කොයි ජාතියේ උපනත් මෙහෙසුන් වන් නේ
මේ ජාතියේ ඇයි මා තනිකර යන්           නේ
එතැන් සිට ඈ කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී, සිද්ධාර්ථ, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛි, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප බුදුන්වහන්සේලාගෙන් අවසාන විවරණය ලබන තෙක් හැම ආත්ම භාවයක දී ම බෝසතාණන් සම`ග මහත් ඵල මහානිසංස පුණ්‍ය ක‍්‍රියා සිදු කළා ය. ඒ සෑම අවස්ථාවක දී ම අසදෘශ දාන, ශීලාදි කුශල ක‍්‍රියාවල යෙදීමෙන් අනතුරුව බෝසතාණන් ඒ පින්කම්වලින් ප‍්‍රාර්ථනා කළේ සම්මා සම්බුද්ධත්වය යි.  එහෙත් යශෝධරාව ඒ සියලූ ආත්මභාවයන්හි දී එතුමන්ගේ භාර්යාව වෙමින්, ඈ විසින් සිදු කරන ලද සියලූ පින්කම්වල මහිමයෙන් මේ උත්තම පුරුෂයා ම ස්වකීය ස්වාමිපුරුෂයා වන ලෙස ප‍්‍රාර්ථනා කළා ය. ඒ ප‍්‍රාර්ථනාව හේතුවෙන් ඔහු ම ලද ඈ, භාර්යාවක ලෙසින් එතුමන් වෙනුවෙන් කළ කී දෑ ද අප‍්‍රමාණ ය. අවසාන ආත්මභාවයෙහි ගෞතම බුදුන්වහන්සේගෙන් පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලා සිටීමට පැමිණි යශෝධරා මහා ස්ථවිරීන්වහන්සේ එම අතීතය ස්මරණය කරමින් භාර්යාවක සේ ඈ ඉටු කළ දෑ වදාළේ මෙසේ ය.
‘‘තව ද: නො එක් ජාතින්හි යක්ෂ රාක්ෂසාදීන් වෙස් වළා අවුත් මා ම දන් ඉල්ලූ කල ඔවුන්ට මා දන් දුන් කල්, ඔවුන් මා සල්ව සල්වා කෑ කල, එකල්හි දු මා කිසි දොම්නසක් නො වූ කල්, නො එක් සතුන්ට ගොදුරු නියා මා ම දුන් කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර නුඹවහන්සේ මා හැර ගොස් පරස්ත‍්‍රීන් කෙරෙහි හසු ව නො එක් වධයට පැමිණි කල්හි එ බැව් අසා කාමක්‍රෝධයක් නැති ව පුත‍්‍රයක්හුගේ ආපාදයෙක්හි කම්පිත වන මවක සේ, මහ හ`ඩින් හඬා එතැනට ගොස් මා හැඳ සිටි වස්ත‍්‍රාභරණ ඔවුන්ට අල්ලස් කොට දී  නුඹ වහන්සේ ගලවා ගත් කල්, මාතෘ භාර්යා වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර නුඹවහන්සේ ම නිසා නුඹවහන්සේ ම පතා, හැඳ සිටි වස්ත‍්‍රාභරණ පරිත්‍යාග කළ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර මා ම කුසින් වැ¥ දරුවන් නුඹවහන්සේ යාචකයන්ට බැඳ පාවා දුන් කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි.
බුදුන්වහන්සේ ඈ සතු අපරිමිත සෙනෙහස, ස්වාමි භක්තිය දැන සිටි සේක.

යශෝධරාව සිංහල සංස්කෘතියේ පරමාදර්ශී කාන්තාව වූයේ ඈ සතු වූ අනූපමේය වූ ස්වාමිභක්තිය පමණක් හේතු කොටගෙන නො වේ. ඇයගේ උත්තරීතර ගුණය හේතුවෙනි. ඈ භාර්යාවක ලෙස අනන්ත සංසාරයක් පුරාවට කළ මෙහෙවර හේතුවෙනි. යශෝධරාව පාරමිතා පිරුවේ සිද්ධාර්ථ බෝසතාණන්ගේ භාර්යාව වීමට මිස බුද්ධත්වය පතා නො වේ. එහෙත් ඈ හැම මොහොතක දී ම සිය සැමියාගේ පාරමිතාව පූරණය කර ගැනීමට සහකාරියක් ද වූවා ය. ඈ වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම භාර්යාවකි. සහකාරියකි. පාදපරිචාරිකාවකි.
පැතුන් බලෙන් දෙන්නා අවේ                පේවී
කතුන් සැමට නායක බිම්බා                   දේවී
ඉතින් සසර ඇවිදින්නේ නැත               දේවි
ගොසින් බුදුව එන කල් සිටපන්             දේවි

Monday, January 14, 2013

නූතන යශෝධරාවකගේ පැතුම


 

kQ;k hfYdaOrdjlf.a me;=u

 කාරණාව බුදු වෙන ලකුණු නොම දුටු     ව
මාර සදිසි සිත් රුපුසෙන් බල දුරු            ව
තාරකාව වී සිත් අහසට              ආ         ව
පාරමිතාවක්දෝ සසරේ  පැතු                  ව

සසර පුරා හුරු සෙනෙහේ සුවඳ වි           ඳ
ඇතොර පුරේ ළඳක් නොවුණි උරුම මැ    ද
කතර මැදට පෑයු පුන් සඳක් ලෙ               ද
අතැර නො යන දියණියකිය නුඹෙන් ල    ද

බවෙන් බවේ පැතු පැතුමන් සුන් වී       ද
මුවෙන් මිදෙන සුසුමක් සේ වියැකේ     ද
වහන් වෙන්න වන්නේ පෙර පවකින්    ද
නුවන් සදිසි යසෝදරා නුදුටී                   ද


zkdßZ lD;sfhka'

Thursday, November 29, 2012

සරසවි මල් මතකය


http://www.asiantribune.com/files/images/Jayawardena%20%201.img_assist_custom.bmp


 සරසවි මල් මතකය
දම් පාට රොබරෝසියා මල් පලසට නො රිද්දා අඩිය තියමින් ඇහළ, මැයි මල් වගේ ම තවත් නම නො දන්නා හු`ගාක් මල් බලන්න සරසවියට අවාරෙත් අපි ආවේ හරි ම ආශාවෙන්. අවාරේ කියලා කිව්වේ සරසවි මානවක මානවිකාවන් ගම්බිම් බලා ගිය අධ්‍යයන නිවාඩු කාලවලට. ඒ කාලෙට මුලූ සරසවියෙ ම තියෙන්නේ ශෝකී පාළු හුදකලා බවක්. ඒත් තැනින් තැන එක් රොක් වුණු පුංචි පුංචි කුරුළු කූඩුවල කසුකුසු නැතිව ම නෙවෙයි. අපි යාලූවෝ ?න් එක්ක කතා වෙලා සරසවියේ මල් බලන්න එනවා කිව්වම මේ කුරුලූ කූඩුවල සමහර කුරුලූ පෙම්වත්තු අපට හිනාවෙනවා. ඇත්ත. පේරාදෙණියේ මල් වසන්තය තරම් අපේ මල් වසන්තය පොහොසත් නෑ. ඒත් අපි ජපුරේ පුංචි පුංචි වීදි දෙපැත්තේ අතුපතර මල් එල්ලගෙන හිනාවෙන ඇහළ මල්වලටත්, සුමංගලේට එන පාරේත්  ඕපන් තියටර් එකෙත් රතු වියන් අදින මැයි මල්වලටත් මල් පාවඩ එලන රොබරෝසියා මල්වලටත් ඇත්තට ම ආදරේ කළා. සුමංගලේ ළ`ග ඉඳන් පුස්තකාලේට යනකං වීදියේ එක පැත්තක මහා නුග ගහක් තියෙනවා. එතැන තමයි අපේ රංචුව එක්කාසු වෙන තැන. හරියට ම ඒ නුගේ යට බැම්මෙ ඉඳ ගත්තහම ඉස්සරහින් පේන්නේ බුදු මැදුර. ශාන්ත ව කරුණාවෙන් නැහැවුණු බුදු හාමුදුරුවො එදත් අදත් හෙටත් එක සේ ම නොසෙල්වී විදුදය සරසවිය දිහා බලාගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නේ. සරසවියේ හැම ළමයෙකුට ම බුදුහාමුදුරුවොත්, බුදු මැදුරත් මතක් වෙන්නේ විභාගේ කාලෙටයි පෝය දවසටයි විතරයි. ඒ දවස්වලට නම් මල් අසුන නොයෙක් පාට මල්වලින්, සුවඳ දුම්වලින්, දැල්වෙන පහන්වලින් හැඩ වෙලා. අද වගේ ජංගම දුරකථන ප‍්‍රචලිත නො වුණු ඒ යුගයේ අපි හැමෝගෙ ම පණිවුඩ එහා මෙහා වුණේ සමර් හට්එකෙන්. සමර් හට් එක කියන්නේ පුංචි සමූපකාරයක්. ඒකේ වැඩියෙන් ම තිබුණේ උණු උණූ එළ කිරි. අද නම් එතැන තියෙන්නේ සංස්කෘතික මධ්‍යස්ථානය. ඉස්සර අපිට නම් ඒක තොරතුරු හුවමාරු කරන මධ්‍යස්ථානයක් වුණා. සමහර දවස්වලට අපිට නුගේ යට බැම්මේ අයිතිවාසිකම අහිමි වෙනවා. ඒ වගේ වෙලාවට අපි කට්ටියම එකතු වෙන්නෙ බුදු මැදුර ළ`ගට, එහෙම නැත්තම් කස ගස් යායට. බුදු මැදුර ළ`ගත් නම නො දන්නා පුංචි දම් පාට මල් පිපෙන ගහක් තියෙනවා. ඒ දම් පාට පුංචි මල කියන්න බැරි තරම් ලස්සනයි. අපේ මල් බැලීමේ වන්දනාවේ එතැනත් එක් නවාතැන්පලක් වෙනවා. ඒත් හු`ගාක් දවස්වලට අපිට බුදු මැදුර ළ`ග නවතින්න ඉඩක් ලැබෙන්නේ නෑ. කාටවත් ම කියා ගන්න බැරි දුකක් හිතේ තද කරන් ඉන්න කවුරුහරි ගෑනු ළමයෙක් දෙන්නෙක් මේ බුදු මැදුර ළ`ග නො සෙල් වී ඉන්න අවස්ථා බොහොමයි. ඒ හින්දා අපි හැමෝම හු`ගාක් ආසා වුණේ කස ගස්වල දී හමුවෙන්න. කස ගස් යාය අපි හැමෝටම සොඳුරු මතකයක්. අපි කියන්නේ මම, මනූ, අනිල්, ඉන්දි, චරී, න ඕමි, දිනේෂා, සුරේඛා, රංජිත්, භාග්‍ය. මේ තමා අපේ මල් පාත්තිය. අපේ පාත්තියේ එක එක විෂයයන් කරපු අය හිටියා. සිංදු කියන, ලියන, නටන, සංගීතය සපයන හැමෝම මේ අතරෙ හිටියා. අපි කෑවේ, පාඩම් කළේ, හිනා වුණේ, සිංදු කිව්වේ, රණ්ඩු වුණේ කස ගස් යායෙදි. ඒ දවස්වල අපේ පාත්තිය හැමෝට ම හුරු පුරුදු දසුනක් වුණා. අපි වැඩියෙන් ම එක් රැුස් වුණු තැන එතැන යි. අපි හැම දෙයක් ගැන ම කතා බහ කළේ එතැන දි. අපේ කට්ටිය සිංදු කියන්න නම් වැඩියෙන් ම මනාප වුණේ  ඕපන් එකට ගිහින්.  ඕපන් තියටර් එකට. එතැනත් පුංචි අස්සක් අපි ලෑස්ති කරලයි තිබුණේ එක එක්කෙනාට පණිවිඩ තියලා යන්න. එක දවසක්් සුරේකා දයාරත්න රණතුංග ගයන මල් පිපිලාගීතය වයලීනයෙන් වාදනය කළා. දිනේෂායි, මනුෂායි අත්වැල් අල්ලද්දී අපි නැටුවා. අනුෂාල් අයියා තමයි සුරේඛලාට වයිලීන් කියලා දුන්නේ. අපි  ඕපන් එකේ ඉඳන් නාට්‍ය පුරුදු වුණා. පොත් ගැන කතා කළා. කවි කියෙව්වා. අදටත් මතකයි අනුන්ගේ ලේසිමොන් ද බුවාගේ පොතක්. පරිවර්තනය කළේ ගාමිණි වියන්ගොඩ. අපි ඒකේ තියෙන සංවාදවලින් වාද කර ගත්තා.
‘‘මැරෙන්නට කැමැත්තක් නැත්තේ මන්දැයි යන හේතු කාරණා දිවා ? දෙකේ පළ කරමින් සිටින අප, තවමත් ජීවතුන් අතර සිටින්නේ මන්දැයි යන්න අපෙන් ම විමසීමට එක මොහොතක් මිඩංගු කළා ද?’’
‘‘තමන් ආලය කරන කෙනාට අනතුරක් වේවි කියලා, පහු වෙන මිනිත්තුවක් මිනිත්තුවක් ගානේ හිත හිතා ඉන්න එක, දිග් ගැස්සෙන මරණෙකටත් වඩා භයානකයි.’’ 205-206 පිටු

අපිට කියවීමේ පිස්සුව බෝ කළේ අනිල්. ඇත්තට ම අපි හිටියේ පොත්පත් කියවන්න විතරක් නෙමේ ඒ වගේ පොතක් තමන්ගේ් කර ගැනීමේත් දැඩි උමතුවකින්. ඒ හින්දා පොතක් පතක් ගැන කතා කරන්න අපි කොහොම හරි කාලය ඉතුරු කර ගත්තා. සුළෙ`ග් පාවෙලා යන මැයි මල් අපේ කතා බහ අහන්න මොහොතක් දෙකක් අපේ අසල නැවතෙන බව අපි දන්නවා. සරසවියට වසන්තය අරන් ආවේ ඇහැළ මැයි මල් විතරක් නෙමේ. නලමුදු සුවඳකලා මංගල්‍යයත් සරසවියට වසන්තය අරගෙන ආවා. නලමුදු සුවඳ අපේ ජීවිත සුවඳවත් කළා. අපේ හිත් ආදරණීය මතකයන්ගෙන් පිරෙව්වා. අපේ පාත්තියෙ හැමෝම නලමුදු සුවඳත් එක්ක එකතු වුණු අය. උපාධියේ බලාපොරොත්තු අතර නලමුදු සුවඳේ අවසාන වටයට තේරීමත් එක හීනයක් වුණා. නලමුදු සුවඳ හමන කාලයට සරසවියත් ටිකෙන් ටිකෙන් ලස්සන වෙනවා. හැම හිතකම බලාපොරොත්තු දැල්වෙන්න ගන්නවා. අපි ලියපු සිංදුවක් අපේ ම සගයෙක්ගේ කටහ`ඩින් ඇහෙන්න ලැබීම තරම් සතුටක් වෙන කොයින්ද? සුරේඛා හොඳ ම ගායිකාව වෙලා නන්දා මාලිනී සම්මානය හිමිකර ගත්තා. අනිල්ට ජී. බී. සේනානායක සම්මානය. එයා හොඳම කෙටිකතාකරුවා. රංජි, දිනේෂා, මනූෂා අවසාන වටයට සිංදු කියන්න තේරුණා අවුරුදු කීපයක් ම. ඉන්දි, චරී නැටුම් තරගේ අවසාන වටයට තේරුණා. අවුරුදු හතරෙ ම මගේ සිංදුවක් තිබුණා අවසාන වටයට. සරසවියේ හැමෝ ම මාව දැනගෙන හිටියේ මගේ සිංදුවලින්.
‘‘සලා දුලා නෙක රූසිරු දකින්නයි-වලා පටින් වැසි නෙතඳුර මැකෙන්නයි
බලා එක නෙතින් මගෙ හිත පෙලන්නයි-කලා සපිරි සඳ සේ නුඹ දිලෙන්නයි’’

නෙතඳුරු වුණත් පෙම් වැඩුවේ සිත් සේ මා-අඳුරු හදට පහනක් දල්වන සේමා
සොඳුරු නෙතැත්තන් රුදු වදනින් කෝමා- සිදුරු වුණේ නුඹ මා වෙත බැඳි පේමා

අපේ පාත්තියේ නො වුණත් අපිත් එක්ක හොඳටම හිතවත් වුණු අපේ ම යෙහෙළියකගේ බිඳි ගිය සරසවි පේ‍්‍රමයක් ගැන මං එහෙම ලිව්වා. පිරිමි ළමයගේ එක ඇහැක් පේන්නේ නෑ. ඒ නො පෙනෙන ඇහැ වෙනුවට තියෙන්නේ බොරු ඇහැක්. පෙම්වතිය ඔහුට වඩා වසරක් දෙකක් වැඩිමහල්. හැබැයි එක බැච් එකේ. පුරා අවුරුද්දක් සිනා හසරැුල් මැද ගෙවෙන මේ පේ‍්‍රමය බිඳි යන්නේ ඒ දෙන්නගෙම යාලූවන්ගේ කතන්දර හින්දා. මේ පෙම් කතාවේ අවසානය සනිටුහන් වුණේ ඈත් එක්ක එකට දුක සැප බෙදා ගත්ත ඇගේ හොඳම යෙහෙළිය ඔහුගේ පෙම්වතිය බවට පත්වීමෙන්.
සිනහව, කඳුළ එක වගේ මුසු වෙච්ච සරසවියේ අදත් එදා වගේ ම මැයි මල්, ඇහැළ මල් පිපෙනවා. අපි හැමෝම හමුවුණු කස ගස් යාය, සුමංගලේ සඳැල්ල,  ඕපන් එක අදත් අපි වගේ දරු දැරියන්ගේ හිනාවෙන් හැඩවෙනවා, ඔවුන් අඬනවා. කෑ ගහනවා. සිංදු කියනවා. කතා කරනවා. රණ්ඩු වෙනවා. තරහ වෙනවා. ඒ හැම මුහුණක් අතර ම මං අපේ මුහුණු හොයනවා. ඒත් ඒ මුහුණු අද නෑ. එදා සරසවියට වඩා අද සරසවිය හු`ගාක් වෙනස්. එදා සෙනෙහසින් අපි ඇවිද ගිය සරසවි බිම පුරා ම අලූත් අලූත් ගොඩනැගිලි හැදිලා. අකුරු හොය හොය යන සරසවි මානවක මානවිකාවන්ට සරසවිය තවත් එක උපකාරක පංතියක් වෙලා. සරසවි පේ‍්‍රමයත් වෙනස්. අද හැම මුහුණක් ම ජංගම දුරකථනයත් එක්ක හුදකලා වෙලා. එදා අපි විඳපු සරසවි සුවඳ අද සරසවියට ආගන්තුක යි. අදත් සරසවියේ හැම ගහක ම මල් පිපිලා. වැහිපොද වැටිලා මල් පෙති දෙපෙති හැම තැන ම විසිරිලා. එදා අපිට හෙවණ දුන්න නුග ගහේ අතු කීපයක් සිඳ දැමුණේ මෑතක දි. අදටත් නුග ගහ ළ`ග බැම්මේ දී මගේ පා පැකිලෙනවා. අපේ හිනා හඬ ළං ළංව ඇහෙද්දී පෙම්වතුන්ගේ මුනු මුනුව මාව වර්තමානයට කැඳවාගෙන එනවා. කවුරුවත් ම නො දැක පිපිලා පර වෙලා වැටුණු මල් පාගාගෙන ඇවිද ගෙන යන සරසවි පෙම්වතුන් ඊළ`ග මොහොතේ දී ජංගම දුරකථනයත් එක්ක තනිවෙනවා. ඒත් එදා අපි විඳ ගත්ත සරසවි සුවඳ අදත් මට එදා වගේ ම දැනෙනවා.

‘‘පේ‍්‍රමය නම් අසෙනිය කුසුමක් වේ රිසි වු කෙනෙකුට පුජා කරන්නට
ලෝබ සිතින් තොර පිදුව මනා වේ පෙරලා ලබන්න නො සිතා බිඳකුදු’’
-එදිරිවීර සරච්චන්ද්‍ර
‘‘ඔවුන් මා මරන්නේ ඔවුන් මට බය බැවිනි. මිනිස් හදවතකට ඊට වඩා තවත් බලාපොරොත්තු විය හැකි ආසාවක් තිබේද? එහෙත් ඒ හදවත තවත් ආසාවක් පතයි. මිය යන මිනිසෙකුට පෞද්ගලික මනාපයකට හිමිකම් කිව හැකි ය. මගේ මනාපය මේක යි. මා හැම විට ම ඔබ හමුවේ බුම්මා ගත් මෘගයෙකු ලෙස හැසිරුණේ මන්ද? පරණ කෝන්තර අමතක කිරීමට සුනංගු වූයේ මන්ද යනු ඔයා දැන සිටීම ය. ඉස්තරම්ම ලොවිච්චි සහිත කොටු ගවුම් කොටයකින් සැරසී, කොණ්ඩා කරලක් පිට දිගේ වක් කරගෙන පුංචි කැත කෙල්ලක් ව සිටි අවදියේත් මම ඔබට ආදරය කළෙමි. තවමත් මම ඔබට ආදරය කරමි. මම ඔයාගේ දෑත සිප ගත් විට ආයිත් කරන්න එපායයි අනුකම්පාවෙන් ඔයා මට අයැද සිටි දවස ඔයාට මතකද? එය තක්කඩිකමක් බව මම දනිමි. ඊට මට සමාවෙන්න. දැන් මම ඔයාගේ නම ලියා තිබෙන මෙම කඩදාසිය සිප ගනිමි. මෙසේ දෙවරක් මම ඔබ සිප ගෙන ඇත. දෙවර ම අනවසරයෙනි.
එපමණයි
ආදරණීය පි‍්‍රයාදරිය....., (ඊ. ඇල් වොයිනිච්ගේ ඇටමැස්සා - පරි. සුගතපාල ද සිල්වා )

Wednesday, August 29, 2012

‘නාරි’ - හංසමාලා රිටිගහපොළ
අනන්ත සංසාරයක් තිස්සේ ආදරය කුමක්දැයි සොයමින් පැමිණෙන ඒ ආදරය ම හිමිකර ගැනීමේ ආශාවෙන් ඒ පසුපස ම ලුහුබදින අප ගැන කියන කතාවයි ‘‘නාරි‘‘
නාරි ඔබ එනතුරු බලා සිටී.
සංහිද ප්‍රකාශනයක්
 


Monday, August 27, 2012

බුලතේ කතාව

සිංහල සංස්කෘතියත් බුලත් හුරුල්ලත් අතර ඇත්තේ අනාදිමත් කාලයක් තිස්සේ පැවත එන සබඳතාවකි. ආගමික, සංස්කෘතික, මෙන් ම ජාතික වශයෙන් ද බුලත හා බැඳුණු චාරිත‍්‍ර වාරිත‍්‍ර බොහොමයකි. එයිනුදු සිංහල අලූත් අවුරුද්දට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. පරණ අවුරුද්ද සඳහා සඳ බැලීමේ චාරිත‍්‍රයෙන් ආරම්භ වන සිංහල අලූත් අවුරුදු සිරිත් විරිත් අතර බුලත් අතට ද ප‍්‍රමුඛස්ථානයක් හිමි වේ. බුලත් හුරුලූ දීම, බුලත් කෑම සිංහල සංස්කෘතියේ ප‍්‍රවේණි දායදයක් බඳු ය. මේ නිසා ම සිංහලයෝ බතින් බුලතින් සංග‍්‍රහ කිරීමට පසුබට නො වූහ. සිංහල අලූත් අවුරුද්දේ සිදු කරනු ලබන සුවිශේෂී චාරිත‍්‍ර අතරට බුලත් හුරුලූ පිළිගන්වා වැඩිහිටියන් සමාකර ගැනීම ද අයත් වේ. අලූත් අවුරුදු උදාවෙන් පසු දෙමාපියන් ඇතුළු පවුලේ වැඩිහිටියන්ට බුලත් හුරුලූ පිළිගන්වා වැඳීම අදත් ගම්වල සිදු කෙරෙන විශේෂ සිරිතක් බවට පත් ව තිබේ.
    බුලත් හුරුල්ල එසේත් නැතිනම් බුලත් අත යයි සාමන්‍යයෙන් වහරනු ලබන්නේ කොළ හතළිහකින් යුතු බුලත් දෝතකට යි. සිංහල සංස්කෘතිය හා ස්වභාව ධර්මයා අතර ඇති මනා සබැඳියාව ඉස්මතු කරවන්නක් ලෙස ද බුලත පොදු ජනයා අතර පිළිගැනීමට ලක් වී තිබෙන්නකි. එදා සිංහල ගමක නො වරදින අංගයක් වූ බුලත් හෙප්පුව හා බුලත් මඩිස්සලේ අද වන විට කලඑළි බසින්නේ සිංහල අලූත් අවුරුද්ද, මංගල උළෙල වැනි උත්සව අවස්ථාවන්හි දී පමණි. නියමිත ගණනකට අනුව නීර්ණය වූ බුලත් අතෙහි කොළ ගණන වෙනස් වන්නේ විවාහ මංගල්‍යයක දී මනාලිය කැන්දාගෙන යන අවස්ථාවේ දී හා දෙවැනි ගමන යන අවස්ථාවක දී පමණකි. අතීතයේ මෙබඳු අවස්ථාවන්හි දී ගෙන යන්නේ සාම්ප‍්‍රදායික බුලත් අත නො වේ. ඒ අනුව ගමනට සහභාගී වන ප‍්‍රමාණය අනුව බුලත් අතේ කොළ ප‍්‍රමාණය වෙනස් වේ. එය එක් අතකට අවාචික සන්නිවේදනයක් බඳු ය. මනාලියගේ පාර්ශ්වයෙන් පැමිණි පිරිස ගණනය කර ගැනීමට බුලත් අතේ ප‍්‍රමාණය උපකාර වේ. එසේ ම නැකතට ම`ගුල් කීමේ දී ද පෝරුවේ චාරිත‍්‍රවලදී ද ම`ගුලට මේන ම මරණයේ දී ද බුලත් අතින් සිදුවන මෙහෙය සුළු පටු නො වේ.
    බුලත් අත, වැඳ සමා කර ගැනීමේ සිංහල චාරිත‍්‍රය සඳහා බෙහෙවින් ඉවහල් කරගන්නකි. සිංහල අලූත් අවුරුද්ද වනාහී පරණ අමනාපකම්, අකටයුතුකම් සියල්ල අමතක කර තබා නෑ නොනෑ, හිත මිත‍්‍රාදීන් සියලූ දෙනා ම එක සේ එක්රොක් වන සංස්කෘතික උළෙලකි. එම සංස්කෘතික උළෙලේ දී එක් එක් පාර්ශ්වයන්ගේ නො හොඳ නෝක්කාඩු ඉවත ලීම සඳහා බුලත් අත ඉදිරියට පැමිණේ. මෙම වැඳ සමා කර ගැනීමේ චාරිත‍්‍රයට ඇත්තේ ද ඉතා අනාදිමත් ඉතිහාසයකි. ඉන් කඩුලූ තහංචිය ප‍්‍රධාන වේ. සිංහල ජන සමාජයේ සම්මත වූ නෑනා-මස්සිනා විවාහය වෙනුවට වෙනත් විවාහයකට මුල පිරූ අවස්ථාවක දී මස්සිනා සිය අයිතිවාසිකම ප‍්‍රකාශ කිරීම මෙහි දී සිදු වේ.
‘‘ඇවැස්ස මස්සිනා මමයි බොලන්නේ - කඩුලූ බුලත් අත දීලයි යන්නේ’’
යැයි කඩුල්ල මුල රැුක සිටිනා මස්සිනා පැවසූ විට නෑනා සිය මස්සිනාට බුලත් හුරුල්ලක් පිළිගන්වා තමා විවාහ වන ස්වාමියා හා යෑමට අවසර ගත යුතු ය. මෙහි දී යොදා ගන්නේ බුලත් කොළ සියයකින් යුතු බුලත් අතකි.
සිංහල සංස්කෘතියේ ආහාර සඳහා හිමිවන්නේ ද විශේෂ ස්ථානයකි. විවිධ වර්ගයේ ආහාර වර්ග අතර බුලතින් සංග‍්‍රහ කිරීම ද අත්‍යවශ්‍ය අංගයක් විය. අතීත ගැමියන් බතින් පමණක් නො ව බුලතින් සංග‍්‍රහ කිරීම උදක් ම බලාපොරොත්තු වූයේ ය.
කන්න අපටත් බත් දුන්නා
බොන්න වතුර ගෙන දුන්නා
කන්න බුලත් නැත ගෙන්නා
යන්න ගමට සිහි වෙන්නා
ජන කවියා බුලතින් සංග‍්‍රහ නො කර ආහාර පිළිගැන්වීමක් පිළිබඳ සිය අප‍්‍රසාදය පළ කර ඇත්තේ මෙසේ ය. අද ද සිංහල අලූත් අවුරුද්ද බතින් බුලතින් නො අඩු සංස්කෘතික උළෙලක් බවට පත් ව ඇත්තේ මේ හේතුව නිසා ය. බතින්, බුලතින් යන යෙදුමේ භාවාර්ථය වී ඇත්තේ කිසිවකින් කිසිදු අඩුපාඩුවක් නො තිබෙන්නක් බව ය. සිංහලයා සිය ප‍්‍රධාන සංස්කෘතික උළෙලක් වන සිංහල අලූත් අවුරුද්ද සඳහා බුලත් අතට මෙබඳු මූලික ස්ථානයක් ලබා දී ඇත්තේ එය හුදෙක් කොළ අතකට පමණක් සීමා නො කරමිනි. බුලතේ උපත ද ඒ වනාහි අනෙක් ශාඛවලට වඩා සුවිශේෂි වන බව ප‍්‍රකාශ කරන්නක් වීම ඊට ඉවහල් වන්නට ඇති හේතුසාධක වී තිබේ.
පෙරත් නාග ලොව සිටව ද ගෙන ආ    වේ
දළත් කඩා දැම්මයි පැල උනා         වේ
දියත් ඇදලා ම ඒ වැල         වැවී    මේ
බුලත් වැලට කිව් සන්නේ ද     මා    මේ
බුලත් වැල ජන කවියේ ප‍්‍රහේලිකා හෙවත් තේරවිලි සඳහා ද යොදා ගත්තකි. ඒ හැම තේරවිලි කවියකින් ම කිය වී ඇත්තේ බුලත, නාග ලොවින් ගෙන ආවක් බව ය. ඒ නිසා අද ද බුලත් කෑමට ගැනිමේ දී දෙ කොන කඩා කෑම සිරිතකි. ඒ, විෂ්ණූ දෙවියන්ගේ නැගණියන් වන මැණික්පාල බිසවට වූ කොඩිවිනය දුරු කිරීමට සිදු කළ සූනියම් ශාන්ති කර්මය සඳහා නාග ලෝකයේ සිට බුලත් කොළය දෙකට නමා නාගයෙක් සිය මුවින් ගෙන ආ නිසා ය. නාගයාගේ මුවේ වූ විෂ දෙකට නැවූ බුලත් කොළයේ තැවරීම හේතුකොට ගෙන අද ද බුලත් අනුභවයේ දී බුලත් කොළයේ දෙ කොණ කඩා දෑමිම සිරිතක් ලෙස කරනු ලබයි. බුලත් අතට සිංහල අලූත් අවුරුද්දේ ප‍්‍රමුඛස්ථානයක් හිමි වීමට මෙබඳු සංසිද්ධි රාශියක් හේතු වී තිබේ. පැරණි සිංහලයෝ කෙතරම් තරහ මරහ වී තිබුණ ද බුලත් අතක් රැුගෙන තමා හමුවට පැමිණේ නම් ඒ සියලූ නොහොඳ නරක අමතක කිරීමට තරම් යහපත් සිත් ඇත්තෝ වූහ. සිංහල අවුරුද්ද හා බැඳුණු බුලත් අත සංකේතවත් කරන්නේ ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන සිංහලයාගේ එම සාඩම්බරණීය ගති සිරිත යි.

හංසමාලා රිටිගහපොළ
.