Thursday, November 29, 2012

සරසවි මල් මතකය


http://www.asiantribune.com/files/images/Jayawardena%20%201.img_assist_custom.bmp


 සරසවි මල් මතකය
දම් පාට රොබරෝසියා මල් පලසට නො රිද්දා අඩිය තියමින් ඇහළ, මැයි මල් වගේ ම තවත් නම නො දන්නා හු`ගාක් මල් බලන්න සරසවියට අවාරෙත් අපි ආවේ හරි ම ආශාවෙන්. අවාරේ කියලා කිව්වේ සරසවි මානවක මානවිකාවන් ගම්බිම් බලා ගිය අධ්‍යයන නිවාඩු කාලවලට. ඒ කාලෙට මුලූ සරසවියෙ ම තියෙන්නේ ශෝකී පාළු හුදකලා බවක්. ඒත් තැනින් තැන එක් රොක් වුණු පුංචි පුංචි කුරුළු කූඩුවල කසුකුසු නැතිව ම නෙවෙයි. අපි යාලූවෝ ?න් එක්ක කතා වෙලා සරසවියේ මල් බලන්න එනවා කිව්වම මේ කුරුලූ කූඩුවල සමහර කුරුලූ පෙම්වත්තු අපට හිනාවෙනවා. ඇත්ත. පේරාදෙණියේ මල් වසන්තය තරම් අපේ මල් වසන්තය පොහොසත් නෑ. ඒත් අපි ජපුරේ පුංචි පුංචි වීදි දෙපැත්තේ අතුපතර මල් එල්ලගෙන හිනාවෙන ඇහළ මල්වලටත්, සුමංගලේට එන පාරේත්  ඕපන් තියටර් එකෙත් රතු වියන් අදින මැයි මල්වලටත් මල් පාවඩ එලන රොබරෝසියා මල්වලටත් ඇත්තට ම ආදරේ කළා. සුමංගලේ ළ`ග ඉඳන් පුස්තකාලේට යනකං වීදියේ එක පැත්තක මහා නුග ගහක් තියෙනවා. එතැන තමයි අපේ රංචුව එක්කාසු වෙන තැන. හරියට ම ඒ නුගේ යට බැම්මෙ ඉඳ ගත්තහම ඉස්සරහින් පේන්නේ බුදු මැදුර. ශාන්ත ව කරුණාවෙන් නැහැවුණු බුදු හාමුදුරුවො එදත් අදත් හෙටත් එක සේ ම නොසෙල්වී විදුදය සරසවිය දිහා බලාගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නේ. සරසවියේ හැම ළමයෙකුට ම බුදුහාමුදුරුවොත්, බුදු මැදුරත් මතක් වෙන්නේ විභාගේ කාලෙටයි පෝය දවසටයි විතරයි. ඒ දවස්වලට නම් මල් අසුන නොයෙක් පාට මල්වලින්, සුවඳ දුම්වලින්, දැල්වෙන පහන්වලින් හැඩ වෙලා. අද වගේ ජංගම දුරකථන ප‍්‍රචලිත නො වුණු ඒ යුගයේ අපි හැමෝගෙ ම පණිවුඩ එහා මෙහා වුණේ සමර් හට්එකෙන්. සමර් හට් එක කියන්නේ පුංචි සමූපකාරයක්. ඒකේ වැඩියෙන් ම තිබුණේ උණු උණූ එළ කිරි. අද නම් එතැන තියෙන්නේ සංස්කෘතික මධ්‍යස්ථානය. ඉස්සර අපිට නම් ඒක තොරතුරු හුවමාරු කරන මධ්‍යස්ථානයක් වුණා. සමහර දවස්වලට අපිට නුගේ යට බැම්මේ අයිතිවාසිකම අහිමි වෙනවා. ඒ වගේ වෙලාවට අපි කට්ටියම එකතු වෙන්නෙ බුදු මැදුර ළ`ගට, එහෙම නැත්තම් කස ගස් යායට. බුදු මැදුර ළ`ගත් නම නො දන්නා පුංචි දම් පාට මල් පිපෙන ගහක් තියෙනවා. ඒ දම් පාට පුංචි මල කියන්න බැරි තරම් ලස්සනයි. අපේ මල් බැලීමේ වන්දනාවේ එතැනත් එක් නවාතැන්පලක් වෙනවා. ඒත් හු`ගාක් දවස්වලට අපිට බුදු මැදුර ළ`ග නවතින්න ඉඩක් ලැබෙන්නේ නෑ. කාටවත් ම කියා ගන්න බැරි දුකක් හිතේ තද කරන් ඉන්න කවුරුහරි ගෑනු ළමයෙක් දෙන්නෙක් මේ බුදු මැදුර ළ`ග නො සෙල් වී ඉන්න අවස්ථා බොහොමයි. ඒ හින්දා අපි හැමෝම හු`ගාක් ආසා වුණේ කස ගස්වල දී හමුවෙන්න. කස ගස් යාය අපි හැමෝටම සොඳුරු මතකයක්. අපි කියන්නේ මම, මනූ, අනිල්, ඉන්දි, චරී, න ඕමි, දිනේෂා, සුරේඛා, රංජිත්, භාග්‍ය. මේ තමා අපේ මල් පාත්තිය. අපේ පාත්තියේ එක එක විෂයයන් කරපු අය හිටියා. සිංදු කියන, ලියන, නටන, සංගීතය සපයන හැමෝම මේ අතරෙ හිටියා. අපි කෑවේ, පාඩම් කළේ, හිනා වුණේ, සිංදු කිව්වේ, රණ්ඩු වුණේ කස ගස් යායෙදි. ඒ දවස්වල අපේ පාත්තිය හැමෝට ම හුරු පුරුදු දසුනක් වුණා. අපි වැඩියෙන් ම එක් රැුස් වුණු තැන එතැන යි. අපි හැම දෙයක් ගැන ම කතා බහ කළේ එතැන දි. අපේ කට්ටිය සිංදු කියන්න නම් වැඩියෙන් ම මනාප වුණේ  ඕපන් එකට ගිහින්.  ඕපන් තියටර් එකට. එතැනත් පුංචි අස්සක් අපි ලෑස්ති කරලයි තිබුණේ එක එක්කෙනාට පණිවිඩ තියලා යන්න. එක දවසක්් සුරේකා දයාරත්න රණතුංග ගයන මල් පිපිලාගීතය වයලීනයෙන් වාදනය කළා. දිනේෂායි, මනුෂායි අත්වැල් අල්ලද්දී අපි නැටුවා. අනුෂාල් අයියා තමයි සුරේඛලාට වයිලීන් කියලා දුන්නේ. අපි  ඕපන් එකේ ඉඳන් නාට්‍ය පුරුදු වුණා. පොත් ගැන කතා කළා. කවි කියෙව්වා. අදටත් මතකයි අනුන්ගේ ලේසිමොන් ද බුවාගේ පොතක්. පරිවර්තනය කළේ ගාමිණි වියන්ගොඩ. අපි ඒකේ තියෙන සංවාදවලින් වාද කර ගත්තා.
‘‘මැරෙන්නට කැමැත්තක් නැත්තේ මන්දැයි යන හේතු කාරණා දිවා ? දෙකේ පළ කරමින් සිටින අප, තවමත් ජීවතුන් අතර සිටින්නේ මන්දැයි යන්න අපෙන් ම විමසීමට එක මොහොතක් මිඩංගු කළා ද?’’
‘‘තමන් ආලය කරන කෙනාට අනතුරක් වේවි කියලා, පහු වෙන මිනිත්තුවක් මිනිත්තුවක් ගානේ හිත හිතා ඉන්න එක, දිග් ගැස්සෙන මරණෙකටත් වඩා භයානකයි.’’ 205-206 පිටු

අපිට කියවීමේ පිස්සුව බෝ කළේ අනිල්. ඇත්තට ම අපි හිටියේ පොත්පත් කියවන්න විතරක් නෙමේ ඒ වගේ පොතක් තමන්ගේ් කර ගැනීමේත් දැඩි උමතුවකින්. ඒ හින්දා පොතක් පතක් ගැන කතා කරන්න අපි කොහොම හරි කාලය ඉතුරු කර ගත්තා. සුළෙ`ග් පාවෙලා යන මැයි මල් අපේ කතා බහ අහන්න මොහොතක් දෙකක් අපේ අසල නැවතෙන බව අපි දන්නවා. සරසවියට වසන්තය අරන් ආවේ ඇහැළ මැයි මල් විතරක් නෙමේ. නලමුදු සුවඳකලා මංගල්‍යයත් සරසවියට වසන්තය අරගෙන ආවා. නලමුදු සුවඳ අපේ ජීවිත සුවඳවත් කළා. අපේ හිත් ආදරණීය මතකයන්ගෙන් පිරෙව්වා. අපේ පාත්තියෙ හැමෝම නලමුදු සුවඳත් එක්ක එකතු වුණු අය. උපාධියේ බලාපොරොත්තු අතර නලමුදු සුවඳේ අවසාන වටයට තේරීමත් එක හීනයක් වුණා. නලමුදු සුවඳ හමන කාලයට සරසවියත් ටිකෙන් ටිකෙන් ලස්සන වෙනවා. හැම හිතකම බලාපොරොත්තු දැල්වෙන්න ගන්නවා. අපි ලියපු සිංදුවක් අපේ ම සගයෙක්ගේ කටහ`ඩින් ඇහෙන්න ලැබීම තරම් සතුටක් වෙන කොයින්ද? සුරේඛා හොඳ ම ගායිකාව වෙලා නන්දා මාලිනී සම්මානය හිමිකර ගත්තා. අනිල්ට ජී. බී. සේනානායක සම්මානය. එයා හොඳම කෙටිකතාකරුවා. රංජි, දිනේෂා, මනූෂා අවසාන වටයට සිංදු කියන්න තේරුණා අවුරුදු කීපයක් ම. ඉන්දි, චරී නැටුම් තරගේ අවසාන වටයට තේරුණා. අවුරුදු හතරෙ ම මගේ සිංදුවක් තිබුණා අවසාන වටයට. සරසවියේ හැමෝ ම මාව දැනගෙන හිටියේ මගේ සිංදුවලින්.
‘‘සලා දුලා නෙක රූසිරු දකින්නයි-වලා පටින් වැසි නෙතඳුර මැකෙන්නයි
බලා එක නෙතින් මගෙ හිත පෙලන්නයි-කලා සපිරි සඳ සේ නුඹ දිලෙන්නයි’’

නෙතඳුරු වුණත් පෙම් වැඩුවේ සිත් සේ මා-අඳුරු හදට පහනක් දල්වන සේමා
සොඳුරු නෙතැත්තන් රුදු වදනින් කෝමා- සිදුරු වුණේ නුඹ මා වෙත බැඳි පේමා

අපේ පාත්තියේ නො වුණත් අපිත් එක්ක හොඳටම හිතවත් වුණු අපේ ම යෙහෙළියකගේ බිඳි ගිය සරසවි පේ‍්‍රමයක් ගැන මං එහෙම ලිව්වා. පිරිමි ළමයගේ එක ඇහැක් පේන්නේ නෑ. ඒ නො පෙනෙන ඇහැ වෙනුවට තියෙන්නේ බොරු ඇහැක්. පෙම්වතිය ඔහුට වඩා වසරක් දෙකක් වැඩිමහල්. හැබැයි එක බැච් එකේ. පුරා අවුරුද්දක් සිනා හසරැුල් මැද ගෙවෙන මේ පේ‍්‍රමය බිඳි යන්නේ ඒ දෙන්නගෙම යාලූවන්ගේ කතන්දර හින්දා. මේ පෙම් කතාවේ අවසානය සනිටුහන් වුණේ ඈත් එක්ක එකට දුක සැප බෙදා ගත්ත ඇගේ හොඳම යෙහෙළිය ඔහුගේ පෙම්වතිය බවට පත්වීමෙන්.
සිනහව, කඳුළ එක වගේ මුසු වෙච්ච සරසවියේ අදත් එදා වගේ ම මැයි මල්, ඇහැළ මල් පිපෙනවා. අපි හැමෝම හමුවුණු කස ගස් යාය, සුමංගලේ සඳැල්ල,  ඕපන් එක අදත් අපි වගේ දරු දැරියන්ගේ හිනාවෙන් හැඩවෙනවා, ඔවුන් අඬනවා. කෑ ගහනවා. සිංදු කියනවා. කතා කරනවා. රණ්ඩු වෙනවා. තරහ වෙනවා. ඒ හැම මුහුණක් අතර ම මං අපේ මුහුණු හොයනවා. ඒත් ඒ මුහුණු අද නෑ. එදා සරසවියට වඩා අද සරසවිය හු`ගාක් වෙනස්. එදා සෙනෙහසින් අපි ඇවිද ගිය සරසවි බිම පුරා ම අලූත් අලූත් ගොඩනැගිලි හැදිලා. අකුරු හොය හොය යන සරසවි මානවක මානවිකාවන්ට සරසවිය තවත් එක උපකාරක පංතියක් වෙලා. සරසවි පේ‍්‍රමයත් වෙනස්. අද හැම මුහුණක් ම ජංගම දුරකථනයත් එක්ක හුදකලා වෙලා. එදා අපි විඳපු සරසවි සුවඳ අද සරසවියට ආගන්තුක යි. අදත් සරසවියේ හැම ගහක ම මල් පිපිලා. වැහිපොද වැටිලා මල් පෙති දෙපෙති හැම තැන ම විසිරිලා. එදා අපිට හෙවණ දුන්න නුග ගහේ අතු කීපයක් සිඳ දැමුණේ මෑතක දි. අදටත් නුග ගහ ළ`ග බැම්මේ දී මගේ පා පැකිලෙනවා. අපේ හිනා හඬ ළං ළංව ඇහෙද්දී පෙම්වතුන්ගේ මුනු මුනුව මාව වර්තමානයට කැඳවාගෙන එනවා. කවුරුවත් ම නො දැක පිපිලා පර වෙලා වැටුණු මල් පාගාගෙන ඇවිද ගෙන යන සරසවි පෙම්වතුන් ඊළ`ග මොහොතේ දී ජංගම දුරකථනයත් එක්ක තනිවෙනවා. ඒත් එදා අපි විඳ ගත්ත සරසවි සුවඳ අදත් මට එදා වගේ ම දැනෙනවා.

‘‘පේ‍්‍රමය නම් අසෙනිය කුසුමක් වේ රිසි වු කෙනෙකුට පුජා කරන්නට
ලෝබ සිතින් තොර පිදුව මනා වේ පෙරලා ලබන්න නො සිතා බිඳකුදු’’
-එදිරිවීර සරච්චන්ද්‍ර
‘‘ඔවුන් මා මරන්නේ ඔවුන් මට බය බැවිනි. මිනිස් හදවතකට ඊට වඩා තවත් බලාපොරොත්තු විය හැකි ආසාවක් තිබේද? එහෙත් ඒ හදවත තවත් ආසාවක් පතයි. මිය යන මිනිසෙකුට පෞද්ගලික මනාපයකට හිමිකම් කිව හැකි ය. මගේ මනාපය මේක යි. මා හැම විට ම ඔබ හමුවේ බුම්මා ගත් මෘගයෙකු ලෙස හැසිරුණේ මන්ද? පරණ කෝන්තර අමතක කිරීමට සුනංගු වූයේ මන්ද යනු ඔයා දැන සිටීම ය. ඉස්තරම්ම ලොවිච්චි සහිත කොටු ගවුම් කොටයකින් සැරසී, කොණ්ඩා කරලක් පිට දිගේ වක් කරගෙන පුංචි කැත කෙල්ලක් ව සිටි අවදියේත් මම ඔබට ආදරය කළෙමි. තවමත් මම ඔබට ආදරය කරමි. මම ඔයාගේ දෑත සිප ගත් විට ආයිත් කරන්න එපායයි අනුකම්පාවෙන් ඔයා මට අයැද සිටි දවස ඔයාට මතකද? එය තක්කඩිකමක් බව මම දනිමි. ඊට මට සමාවෙන්න. දැන් මම ඔයාගේ නම ලියා තිබෙන මෙම කඩදාසිය සිප ගනිමි. මෙසේ දෙවරක් මම ඔබ සිප ගෙන ඇත. දෙවර ම අනවසරයෙනි.
එපමණයි
ආදරණීය පි‍්‍රයාදරිය....., (ඊ. ඇල් වොයිනිච්ගේ ඇටමැස්සා - පරි. සුගතපාල ද සිල්වා )

No comments: