Thursday, August 31, 2017

බෝධිසත්ව ගබ්සාව

මේ සිද්ධිය සිද්ධ වුණේ ටික කාලෙකට කලින්. බාහිර උපාධි පාඨමාලාවේ ප්‍රථම වර්ෂය සඳහා  පැවැත් වුණු දේශනය සිදු කළේ මම. සාහිත්‍ය ප්‍රවේශය ප්‍රශ්න පත්‍රයේ කාව්‍ය රසවින්දනය තමයි ඒ වෙලාවට නියමිත වෙලා තිබුණෙ. එදා මං කවි පන්ති තුනක් තෝරගෙන තිබුණා. ගුණදාස අමරසේකර කවියා ගේ ගැබ්ගත් ළද කවි පන්තිය, දයාසේන ගුණසිංහ කවියාගේ රන් තැටියක කඳුළු කවි පන්තිය සහ කුමාර හෙට්ටිආරච්චි කවියාගේ බෝධිසත්ව ගබ්සාව කවි  පන්තිය. විවේකයට පෙර මට නිම කරන්න පුළුවන් වුණේ කවි පන්ති දෙකයි. ඊට පස්සෙ එළඹුණු විවේකයේදී කාන්තාවක් මාව හමුවෙන්න ආවා, ඇස් දෙකේ කඳුළු පුරවගෙන. ඇය හඬා වැටෙමින් පැවසුවේ රන් තැටියක කඳුළු කවි පන්තියට පාදක වුණු අත්දැකීමට ඇයත් මුහුණ දුන්නා කියලා. ඒ වෙනකොටත් ඇයට තව දරුවෙක් හිටියා. ඒත් ඉපදුනු ගමන් ම තමන්ට අහිමි වුණු දරුවව අමතක කරන්න ඇයට ඒ වෙනකොටත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඇගේ කතාව මගේ ඇස් දෙකටත් කඳුළු ගෙනාවා. විවේකයෙන් පස්සෙ තිබුණෙ බෝධිසත්ව ගබ්සාව ගැන විචාරය කරන්න. මුල් කවිපන්ති දෙකටම පාදක වුණු ගැබ්ගත් ළදත්, දරුවා බිහිකළ මව සහ මියගිය දරුවා ගැනත් අප තුළ ඇතිවන සානුකම්පික හැඟීම නීත්‍යානුකූල පරිසරයක් තුළ ගොඩනැගෙන දෙයක්. ඒ වගේ  නීත්‍යානුකූල  හිමිකමක් නැති අය ගැන  එබඳු හැඟීමක් ඇති කරන්න, ඇති වෙන්න මේ සමාජයෙන් ඉඩක් තිබෙනවා ද? එබඳු පසුබිමකට අවශ්‍ය ඉඩකඩ සමාජය තුළ ඇතිකරල තියනවද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබුණත්
ඒ විචාරයෙන් පස්සේ එදා මං ළඟ හඬා වැටුණු ඒ අම්මා ඇතුළු මුළු දේශන ශාලාවෙන් ම මට අහන්න ඉතුරු වුනේ එක ප්‍රශ්නයක් විතරයි. අපි වෙනස් කළ යුතු වන්නේ අපිවද ? සමාජය ද ? එහෙමත් නැත්නම් නීතිය ද ?

බෝධිසත්ව ගබ්සාව
නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණි
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද හැළුණි
පස්මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණි

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ
මැණික් කරඬු දෙතනේ රන් කිරි එරුණේ
අඳුන් තෙලින් නෑවෙන වද මල් යහනේ
මවුන් අතින් මෝරන දරු ගැබ බිඳුණේ

රිදී කඳුළුමයි රන් කොතලෙට පිරුණේ
මහමායාවරුන් ඇයි මහමග පිපුණේ
වදා පලක් නැත බෝසත්වරු සොහොනේ අපාගත නොවවු තනිවම මව්වරුනේ
-  Kumara Hettiarachchi -

No comments: