Wednesday, January 16, 2013

යශෝධරාව නැවත දැකීම




  යශෝධරාව නැවත දැකීම

 


සිංහල සංස්කෘතියේ ශක්තිමත් පදනම වූයේ ගැහැනිය යි. විශේෂයෙන් මහින්දාගමනයත් සමග ම මෙරට ප‍්‍රචලිත වූ බොදු සමය සිංහල සංස්කෘතියෙහි ප‍්‍රගමනය උදෙසා වෙසෙසින් ඉවහල් විය. යශෝධරා දේවිය සිංහල ගැහැනියගේ පරමාදර්ශී කාන්තාව වන්නේ ද දේශීය සංස්කෘතියෙහි දැකිය හැකි එකී බෞද්ධ මුහුණුවර නිසා ය.
යශෝධරා දේවිය අපට වැදගත් වන්නේ ඇයට" ශ‍්‍රී ලංකාවාසීන් බහුතරයකගේ වන්දනාමානයට පාත‍්‍ර වූ ගෞතම බුදුරජාණන්වහන්සේ සමග ඇති නෑකම නිසා ම නො වේ. ඈ සිද්ධාර්ථ කුමරුන් හා සරණප‍්‍රාප්ත වූ භාර්යාව යි. එසේත් නැතිනම් රාහුල කුමරුගේ මව යි. තමන් උපන් ගෙයි පහන් දැල්වීමට අනවශ්‍ය තරමේ ශරීර ප‍්‍රභාවක් සහිත ව බිම්බ රූපයක් බඳු වූ රූසිරින් යුතු බැවින්  ඕ තොමෝ බිම්බා නම් වූවා ය. විවාහප‍්‍රාප්ත වීමෙන් අනතුරු ව මහත් වූ යස පිරිවර දැරූ හෙයින් යශෝධරා නම් වූවා ය. පසුව රාහුල නම් පුතණුවන්ගේ මව් වූ හෙයින් රාහුලමාතා ලෙස ද ප‍්‍රකට වූවා ය. පැවිදි වීමෙන් අනතුරු ව භද්දකච්චායනා තෙරණියෝ නම් ලදහ. ඒ සෑම කරුණකට ම වඩා ඈ වැදගත් වන්නේ සංසාරයෙන් සංසාරයට භාර්යාවක ලෙසින් සිද්ධාර්ථ බෝසතාණන් වෙනුවෙන් කරන ලද අසමසම මෙහෙවර නිසා ය.
මෙ රට සම්භාව්‍ය සිංහල සාහිත්‍යය පැහැදිලි ව ම බෞද්ධ සාහිත්‍යයෙන් පෝෂණය වූවකි. පද්‍යයෙන් බුදු සිරිතක් කිරීමේ නියමයට යටත් වූ සිංහල කවීන්ට සේ ම ගද්‍ය රචකයන්ට ද බුද්ධ චරිතය අමතක කිරීමට නො හැකි විය. අමාවතුර, බුත්සරණ, මුව දෙව්දාවත, කව්සිළුමිණ ආදි නොයෙකුත් පද්‍ය, ගද්‍ය ග‍්‍රන්ථ ආදිය රචනා කරමින් අත්‍යුත්කර්ෂයෙන් බුද්ධ චරිතය වර්ණනා කරන්නට ඔවුහු කිසිවිටෙකත් පසුබට නො වූහ. යශෝධරාව අපට හමුවන්නේ එසේ වර්ණනයට පාත‍්‍ර වූ ජාතකකතා ආදියෙනි. අසා සිටින හුදී ජන පහන් සංවේගය උදෙසා රචනා වූ ජාතක ගද්‍ය, පද්‍ය කාව්‍ය ඔස්සේ අපි ඈ හඳුනා ගතිමු. එහෙත් ඒ සෑම ජාතක කතාන්තරයකින් ම යශෝධරාවගේ අප‍්‍රමාණ ස්වාමිභක්තිය නිරූපණය වුව ද අප ඈ අඳුනන්නේ තවත් එක් කාන්තාවක ලෙස පමණකි. කතාකරුවන් ද අපට ඈ හඳුන්වා දෙන්නේ එලෙසිනි. කාන්තාවක ලෙස, විශේෂයෙන් සංසාරයෙන් සංසාරයට එක ම පිරිමියකු ප‍්‍රාර්ථනා කරමින් පැමිණෙන මේ භාර්යාව ඊට වඩා වෙනස් තලයක සිට අපට දකින්නට ලැබුණේ නම්, ඒ දඹදෙණි යුගයේ රචිත පූජාවලියෙන් සහ මහනුවර අවදියෙහි රචිත යසෝදරාවතෙන් පමණකි. මයූරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර නාහිමියන් විසින් විරචිත පූජාවලියෙන් එතෙක් මෙතෙක් අප හොඳින් අසා ඇති හොඳින් දැන සිටි, එහෙත් හඳුනා නො ගත් යශෝධරාව අපට හොඳින් ම දැක ගන්නට ලැබුණි. ඒ යශෝධරා අපදානයෙනි. යසෝදරාවත රචනා කළ කතුවරයා ද කවීන්ට අමතක වු යසෝදරාව අප හමුවට කැඳවා ගෙන එන්නේ අප‍්‍රමාණ සෙනෙහසකින් හදවත පුරවාලමිනි.
තෙමා වැටේ මගෙ සළුපිළි නෙත් පුර     වා
අමා රසක් වැනි හිමි සඳ සිහිවෙන          වා
දමා කුමරු වැඩියා මට සිහිවෙන            වා
මෙමා ඇර ලියෝ ලෙව් තුළ ඇද්ද ත      වා
ඈ එසේ පවසන්නේ බෝධිසත්ත්වයන් සම`ග තමා ගෙවූ අතීතය සිහිපත් වීම නිසා ය. සැබවින් ම බුදුසසුනෙහි පැවිදි වී රහත්, මහ රහත් භාවයට පැමිණීම දවසකින් දෙකකින් සිදු කළ හැකි ලෙහෙසි පහසු කටයුත්තක් නො වේ. ඒ සඳහා බොහෝ කල්ප කාලයක් පෙරුම්දම් පිරිය යුතු ය. අසූ මහා ශ‍්‍රාවකයන් කල්ප ලක්ෂයක් ද අග‍්‍රශ‍්‍රාවකයන් එකාසංඛ්‍යය කල්ප ලක්ෂයක් ද පෙරුම් පිරිය යුතු වේ. සම්මා සම්බුද්ධත්වයට පත්වීමට නම් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු ය. සිද්ධාර්ථ බෝසතාණන් බුද්ධත්වය පතා එසේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරද්දී යශෝධරාව ද එතුමන් සම`ග එක්ව එම සම්පූර්ණ කාලය ම එනම්, සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂය ම පෙරුම් පිරුවා ය. දීපංකර බුදුන් පාමුලෙහි සුමේධ තාපසවරයා විසින් නියත විවරණ ලද ආත්ම භාවයේ පටන් ම යශෝධරාව එතුමන් සම`ග පාරමී පිරූවා ය. එදා ඈ සුමිත‍්‍රා නම් පරිබ‍්‍රාජිකාව යි. දීපංකර බුදුන්වහන්සේ විවරණ දුන් පරිද්දෙන් ගෞතම බුදුන් නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන සිද්ධාර්ථ කුමරුන්ගේ භාර්යාව වන යශෝධරා දේවිය මම් ම වෙම්වා, ඒ රාහුල නම් පුත්රුවනගේ මව මම් ම වෙම්වා, මම එතුමන්ගේ පාරමිතාවට අනුබල වෙම්වායි මහනෙල් මල් අටක් පුදා ප‍්‍රාර්ථනා කළ ගැහැනිය ඇය යි. ඒ ප‍්‍රාර්ථනාව අනුව දීපංකර බුදුන්ගෙන් විවරණ ලැබූ කාන්තාව වූයේ ද ඇය යි.
මුව ජාතියේවද පළමුව උපන්                නේ
එම ජාතියේ සිට මම නෑර ම එන්           නේ
කොයි ජාතියේ උපනත් මෙහෙසුන් වන් නේ
මේ ජාතියේ ඇයි මා තනිකර යන්           නේ
එතැන් සිට ඈ කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී, සිද්ධාර්ථ, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛි, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප බුදුන්වහන්සේලාගෙන් අවසාන විවරණය ලබන තෙක් හැම ආත්ම භාවයක දී ම බෝසතාණන් සම`ග මහත් ඵල මහානිසංස පුණ්‍ය ක‍්‍රියා සිදු කළා ය. ඒ සෑම අවස්ථාවක දී ම අසදෘශ දාන, ශීලාදි කුශල ක‍්‍රියාවල යෙදීමෙන් අනතුරුව බෝසතාණන් ඒ පින්කම්වලින් ප‍්‍රාර්ථනා කළේ සම්මා සම්බුද්ධත්වය යි.  එහෙත් යශෝධරාව ඒ සියලූ ආත්මභාවයන්හි දී එතුමන්ගේ භාර්යාව වෙමින්, ඈ විසින් සිදු කරන ලද සියලූ පින්කම්වල මහිමයෙන් මේ උත්තම පුරුෂයා ම ස්වකීය ස්වාමිපුරුෂයා වන ලෙස ප‍්‍රාර්ථනා කළා ය. ඒ ප‍්‍රාර්ථනාව හේතුවෙන් ඔහු ම ලද ඈ, භාර්යාවක ලෙසින් එතුමන් වෙනුවෙන් කළ කී දෑ ද අප‍්‍රමාණ ය. අවසාන ආත්මභාවයෙහි ගෞතම බුදුන්වහන්සේගෙන් පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලා සිටීමට පැමිණි යශෝධරා මහා ස්ථවිරීන්වහන්සේ එම අතීතය ස්මරණය කරමින් භාර්යාවක සේ ඈ ඉටු කළ දෑ වදාළේ මෙසේ ය.
‘‘තව ද: නො එක් ජාතින්හි යක්ෂ රාක්ෂසාදීන් වෙස් වළා අවුත් මා ම දන් ඉල්ලූ කල ඔවුන්ට මා දන් දුන් කල්, ඔවුන් මා සල්ව සල්වා කෑ කල, එකල්හි දු මා කිසි දොම්නසක් නො වූ කල්, නො එක් සතුන්ට ගොදුරු නියා මා ම දුන් කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර නුඹවහන්සේ මා හැර ගොස් පරස්ත‍්‍රීන් කෙරෙහි හසු ව නො එක් වධයට පැමිණි කල්හි එ බැව් අසා කාමක්‍රෝධයක් නැති ව පුත‍්‍රයක්හුගේ ආපාදයෙක්හි කම්පිත වන මවක සේ, මහ හ`ඩින් හඬා එතැනට ගොස් මා හැඳ සිටි වස්ත‍්‍රාභරණ ඔවුන්ට අල්ලස් කොට දී  නුඹ වහන්සේ ගලවා ගත් කල්, මාතෘ භාර්යා වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර නුඹවහන්සේ ම නිසා නුඹවහන්සේ ම පතා, හැඳ සිටි වස්ත‍්‍රාභරණ පරිත්‍යාග කළ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර මා ම කුසින් වැ¥ දරුවන් නුඹවහන්සේ යාචකයන්ට බැඳ පාවා දුන් කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි.
බුදුන්වහන්සේ ඈ සතු අපරිමිත සෙනෙහස, ස්වාමි භක්තිය දැන සිටි සේක.

යශෝධරාව සිංහල සංස්කෘතියේ පරමාදර්ශී කාන්තාව වූයේ ඈ සතු වූ අනූපමේය වූ ස්වාමිභක්තිය පමණක් හේතු කොටගෙන නො වේ. ඇයගේ උත්තරීතර ගුණය හේතුවෙනි. ඈ භාර්යාවක ලෙස අනන්ත සංසාරයක් පුරාවට කළ මෙහෙවර හේතුවෙනි. යශෝධරාව පාරමිතා පිරුවේ සිද්ධාර්ථ බෝසතාණන්ගේ භාර්යාව වීමට මිස බුද්ධත්වය පතා නො වේ. එහෙත් ඈ හැම මොහොතක දී ම සිය සැමියාගේ පාරමිතාව පූරණය කර ගැනීමට සහකාරියක් ද වූවා ය. ඈ වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම භාර්යාවකි. සහකාරියකි. පාදපරිචාරිකාවකි.
පැතුන් බලෙන් දෙන්නා අවේ                පේවී
කතුන් සැමට නායක බිම්බා                   දේවී
ඉතින් සසර ඇවිදින්නේ නැත               දේවි
ගොසින් බුදුව එන කල් සිටපන්             දේවි

2 comments:

Epoxy said...

යශෝධරාව ද දිටිමි, නාරි ද දිටිමි, මගේ යශෝධරාව සොයාගැනීමට මට තාම බැරිවිය.

හංසමාලා රිටිගහපොළ said...


ස්තුතියි ඔබට.. ඔබේ යශෝධරාව ඔබ අසලම සිටිනවා විය හැකි ය. අවශ්‍ය වන්නේ ඇය හදුනාගැනීමේ සියුම් ඉව යි. එය අප රැගෙන එන්නේ සංසාරයෙන් සංසාරයට ය. කාලය එළඹෙන තුරු ඔබට සිටින්නට වන්නේ ඒ නිසා ය.