Thursday, August 31, 2017

දිනන්නට නම් පරදින්නට කෙනෙක් අවශ්‍ය ම ය.

කරුණාකර දරුවන්ට දුක සැප, සිනහව කදුළ සම සේ  දරා ගන්නට කියා දෙන්න. මේ ලෝකයේ දිනුම සහ පැරදුම යනුවෙන් දෙකක් ඇති බවත් කෙනෙකුට දිනන්නට තව කෙනෙක් පරාද විය යුතු බවත් කියා දෙන්න..
පැරදෙන සෑම කෙනෙකු ම සමාජයෙන් ප්‍රතික්ෂේප නොවන බවත් සියලු දෙනාම දිනිය යුතු නැති බවත් කියා දෙන්න..
බාධක හමුවේ ජීවත් වීම මරණයට වඩා වැදගත් බවත් රට වෙනුවෙන් කිසිවක් කිරීමට ජීවත් විය යුතු බවත් කිය දෙන්න..
කරුණාකර ඔබේ දරුවාට ජීවත් වීමට යහපත් අරමුණක් ලබා දෙන්න.
මේ තරගයෙන් ඔවුන් ඈත් කරන්න.. අත්පත් කර ගැනීමෙන් අයිති කර ගැනීමෙන් ලබන උද්දාමයට වඩා අත්හැරීමෙන් ලබන සැනසීමේ වටිනාකම වටහා දෙන්න..
නැතිනම් හෙට දිනයේත් අකාලයේ මිය යන්නේ ඔබේ දරුවා විය හැකිය...

ප්‍රේමයේ අරගලය සහ අරගලයේ ප්‍රේමය


ඉතිහාසය පුරා ජීවත් වූ බොහෝ පෙම්වතුන් අතරින් අප හදුනාගෙන ඇත්තේත් අප විසින් හදුන්වා දෙනු ලබන්නේත් කිහිප දෙනෙකු පමණි. රාධා-ක්‍රිශ්ණා, රාමා-සීතා, සාලිය-මාලා, ගාමිණි-චිත්‍රා, රෝමියෝ-ජුලියට්, සලීම්-අනර්කලී එවැන්නෝය... ඔවුන් ජීවත් වූ ඒ කාලයේම ඔවුන්ටත් වඩා ප්‍ර්‍රේමය වෙනුවෙන් අනේක කැපකිරීම් කළ අනේක දුක් පීඩා විදි පෙම්වතුන් සිටින්නට ඇත. එහෙත් ඒ ප්‍රේම කතා ඉතිහාසය පුරා ලියවුණේ හෝ පරම්පරාවෙන් පරම්පරාවට කියවුණේ ද නැත. ඉතිහාසගත පෙම්වතුන් සේ ධනයෙන්, නිලයෙන්, බලයෙන් ඔවුහු පොහොසත් නොවූහ. එ නිසාම ඒ කතා අප දන්නේ නැත. අපට වැදගත් ද නැත. දුක් විදින මිනිසෙකුගේ ප්‍රේමය තුළ අලෙවි වටිනාකමක් හෝ ජන ආකර්ෂණයක් හෝ නැත. ඒ සියල්ල ඇත්තේ සියල්ලෙන් පරිපූර්ණ මිනිසුන්ගේ ප්‍රේමය තුළ පමණි. එහෙත් තම සිතැගි අභිභවා පොදු මිනිසුන් උදෙසා විහිදිය හැකි ප්‍රේමයකට හිමිකම් කියන්නට තරම් උසස් සිතුවිලිවලින් යුතු පෙම්වතුන් එදත් අදත් සිටියේ ය, සිටින්නේය.. නමුදු ඒ ප්‍රේමයට වටිනාකමක් දෙන්නට තරම්  මනසින් උසස් මිනිසුන් අප අතර සිටියේ නැත. එ නිසා ම ඉතිහාසය පුරා ම සිටි ඒ පෙම්වතුන් ව අපට මග හැරුණි.

ඉදහිට හෝ ඔබට මට හමුවන එබදු  පෙම්වතුන් අදටත් අපට කියා දෙන්නේ සැබෑ ප්‍රේමය පිළිබද පණිවිඩය කි. ඒ පණිවිඩය වටහා ගත නොහැකි වුවද මේ පෙම්වතුන්



සිටින්නේ ඉතිහාසගත පෙම්වතුන්ට වඩා බොහෝ ඉදිරියෙනි. මේ පෙම්වතුන් සිය දිවි නසා ගන්නෙ නැත. ප්‍රේමය අහිමි වූ විට මරා පළිගන්නේ ද නැත. එකිනෙකාගේ ගරුත්වය කෙළෙසන්නේ ද නැත. ප්‍රේ්මයේ අරගලය වෙනුවට අරගලයේ ප්‍රේමයට ඔවුහු ජීවිතය ලබා දෙන්නෝ ය..

බෝධිසත්ව ගබ්සාව

මේ සිද්ධිය සිද්ධ වුණේ ටික කාලෙකට කලින්. බාහිර උපාධි පාඨමාලාවේ ප්‍රථම වර්ෂය සඳහා  පැවැත් වුණු දේශනය සිදු කළේ මම. සාහිත්‍ය ප්‍රවේශය ප්‍රශ්න පත්‍රයේ කාව්‍ය රසවින්දනය තමයි ඒ වෙලාවට නියමිත වෙලා තිබුණෙ. එදා මං කවි පන්ති තුනක් තෝරගෙන තිබුණා. ගුණදාස අමරසේකර කවියා ගේ ගැබ්ගත් ළද කවි පන්තිය, දයාසේන ගුණසිංහ කවියාගේ රන් තැටියක කඳුළු කවි පන්තිය සහ කුමාර හෙට්ටිආරච්චි කවියාගේ බෝධිසත්ව ගබ්සාව කවි  පන්තිය. විවේකයට පෙර මට නිම කරන්න පුළුවන් වුණේ කවි පන්ති දෙකයි. ඊට පස්සෙ එළඹුණු විවේකයේදී කාන්තාවක් මාව හමුවෙන්න ආවා, ඇස් දෙකේ කඳුළු පුරවගෙන. ඇය හඬා වැටෙමින් පැවසුවේ රන් තැටියක කඳුළු කවි පන්තියට පාදක වුණු අත්දැකීමට ඇයත් මුහුණ දුන්නා කියලා. ඒ වෙනකොටත් ඇයට තව දරුවෙක් හිටියා. ඒත් ඉපදුනු ගමන් ම තමන්ට අහිමි වුණු දරුවව අමතක කරන්න ඇයට ඒ වෙනකොටත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඇගේ කතාව මගේ ඇස් දෙකටත් කඳුළු ගෙනාවා. විවේකයෙන් පස්සෙ තිබුණෙ බෝධිසත්ව ගබ්සාව ගැන විචාරය කරන්න. මුල් කවිපන්ති දෙකටම පාදක වුණු ගැබ්ගත් ළදත්, දරුවා බිහිකළ මව සහ මියගිය දරුවා ගැනත් අප තුළ ඇතිවන සානුකම්පික හැඟීම නීත්‍යානුකූල පරිසරයක් තුළ ගොඩනැගෙන දෙයක්. ඒ වගේ  නීත්‍යානුකූල  හිමිකමක් නැති අය ගැන  එබඳු හැඟීමක් ඇති කරන්න, ඇති වෙන්න මේ සමාජයෙන් ඉඩක් තිබෙනවා ද? එබඳු පසුබිමකට අවශ්‍ය ඉඩකඩ සමාජය තුළ ඇතිකරල තියනවද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබුණත්
ඒ විචාරයෙන් පස්සේ එදා මං ළඟ හඬා වැටුණු ඒ අම්මා ඇතුළු මුළු දේශන ශාලාවෙන් ම මට අහන්න ඉතුරු වුනේ එක ප්‍රශ්නයක් විතරයි. අපි වෙනස් කළ යුතු වන්නේ අපිවද ? සමාජය ද ? එහෙමත් නැත්නම් නීතිය ද ?

බෝධිසත්ව ගබ්සාව
නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණි
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද හැළුණි
පස්මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණි

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ
මැණික් කරඬු දෙතනේ රන් කිරි එරුණේ
අඳුන් තෙලින් නෑවෙන වද මල් යහනේ
මවුන් අතින් මෝරන දරු ගැබ බිඳුණේ

රිදී කඳුළුමයි රන් කොතලෙට පිරුණේ
මහමායාවරුන් ඇයි මහමග පිපුණේ
වදා පලක් නැත බෝසත්වරු සොහොනේ අපාගත නොවවු තනිවම මව්වරුනේ
-  Kumara Hettiarachchi -