Wednesday, August 29, 2012

‘නාරි’ - හංසමාලා රිටිගහපොළ
අනන්ත සංසාරයක් තිස්සේ ආදරය කුමක්දැයි සොයමින් පැමිණෙන ඒ ආදරය ම හිමිකර ගැනීමේ ආශාවෙන් ඒ පසුපස ම ලුහුබදින අප ගැන කියන කතාවයි ‘‘නාරි‘‘
නාරි ඔබ එනතුරු බලා සිටී.
සංහිද ප්‍රකාශනයක්
 


Monday, August 27, 2012

බුලතේ කතාව

සිංහල සංස්කෘතියත් බුලත් හුරුල්ලත් අතර ඇත්තේ අනාදිමත් කාලයක් තිස්සේ පැවත එන සබඳතාවකි. ආගමික, සංස්කෘතික, මෙන් ම ජාතික වශයෙන් ද බුලත හා බැඳුණු චාරිත‍්‍ර වාරිත‍්‍ර බොහොමයකි. එයිනුදු සිංහල අලූත් අවුරුද්දට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. පරණ අවුරුද්ද සඳහා සඳ බැලීමේ චාරිත‍්‍රයෙන් ආරම්භ වන සිංහල අලූත් අවුරුදු සිරිත් විරිත් අතර බුලත් අතට ද ප‍්‍රමුඛස්ථානයක් හිමි වේ. බුලත් හුරුලූ දීම, බුලත් කෑම සිංහල සංස්කෘතියේ ප‍්‍රවේණි දායදයක් බඳු ය. මේ නිසා ම සිංහලයෝ බතින් බුලතින් සංග‍්‍රහ කිරීමට පසුබට නො වූහ. සිංහල අලූත් අවුරුද්දේ සිදු කරනු ලබන සුවිශේෂී චාරිත‍්‍ර අතරට බුලත් හුරුලූ පිළිගන්වා වැඩිහිටියන් සමාකර ගැනීම ද අයත් වේ. අලූත් අවුරුදු උදාවෙන් පසු දෙමාපියන් ඇතුළු පවුලේ වැඩිහිටියන්ට බුලත් හුරුලූ පිළිගන්වා වැඳීම අදත් ගම්වල සිදු කෙරෙන විශේෂ සිරිතක් බවට පත් ව තිබේ.
    බුලත් හුරුල්ල එසේත් නැතිනම් බුලත් අත යයි සාමන්‍යයෙන් වහරනු ලබන්නේ කොළ හතළිහකින් යුතු බුලත් දෝතකට යි. සිංහල සංස්කෘතිය හා ස්වභාව ධර්මයා අතර ඇති මනා සබැඳියාව ඉස්මතු කරවන්නක් ලෙස ද බුලත පොදු ජනයා අතර පිළිගැනීමට ලක් වී තිබෙන්නකි. එදා සිංහල ගමක නො වරදින අංගයක් වූ බුලත් හෙප්පුව හා බුලත් මඩිස්සලේ අද වන විට කලඑළි බසින්නේ සිංහල අලූත් අවුරුද්ද, මංගල උළෙල වැනි උත්සව අවස්ථාවන්හි දී පමණි. නියමිත ගණනකට අනුව නීර්ණය වූ බුලත් අතෙහි කොළ ගණන වෙනස් වන්නේ විවාහ මංගල්‍යයක දී මනාලිය කැන්දාගෙන යන අවස්ථාවේ දී හා දෙවැනි ගමන යන අවස්ථාවක දී පමණකි. අතීතයේ මෙබඳු අවස්ථාවන්හි දී ගෙන යන්නේ සාම්ප‍්‍රදායික බුලත් අත නො වේ. ඒ අනුව ගමනට සහභාගී වන ප‍්‍රමාණය අනුව බුලත් අතේ කොළ ප‍්‍රමාණය වෙනස් වේ. එය එක් අතකට අවාචික සන්නිවේදනයක් බඳු ය. මනාලියගේ පාර්ශ්වයෙන් පැමිණි පිරිස ගණනය කර ගැනීමට බුලත් අතේ ප‍්‍රමාණය උපකාර වේ. එසේ ම නැකතට ම`ගුල් කීමේ දී ද පෝරුවේ චාරිත‍්‍රවලදී ද ම`ගුලට මේන ම මරණයේ දී ද බුලත් අතින් සිදුවන මෙහෙය සුළු පටු නො වේ.
    බුලත් අත, වැඳ සමා කර ගැනීමේ සිංහල චාරිත‍්‍රය සඳහා බෙහෙවින් ඉවහල් කරගන්නකි. සිංහල අලූත් අවුරුද්ද වනාහී පරණ අමනාපකම්, අකටයුතුකම් සියල්ල අමතක කර තබා නෑ නොනෑ, හිත මිත‍්‍රාදීන් සියලූ දෙනා ම එක සේ එක්රොක් වන සංස්කෘතික උළෙලකි. එම සංස්කෘතික උළෙලේ දී එක් එක් පාර්ශ්වයන්ගේ නො හොඳ නෝක්කාඩු ඉවත ලීම සඳහා බුලත් අත ඉදිරියට පැමිණේ. මෙම වැඳ සමා කර ගැනීමේ චාරිත‍්‍රයට ඇත්තේ ද ඉතා අනාදිමත් ඉතිහාසයකි. ඉන් කඩුලූ තහංචිය ප‍්‍රධාන වේ. සිංහල ජන සමාජයේ සම්මත වූ නෑනා-මස්සිනා විවාහය වෙනුවට වෙනත් විවාහයකට මුල පිරූ අවස්ථාවක දී මස්සිනා සිය අයිතිවාසිකම ප‍්‍රකාශ කිරීම මෙහි දී සිදු වේ.
‘‘ඇවැස්ස මස්සිනා මමයි බොලන්නේ - කඩුලූ බුලත් අත දීලයි යන්නේ’’
යැයි කඩුල්ල මුල රැුක සිටිනා මස්සිනා පැවසූ විට නෑනා සිය මස්සිනාට බුලත් හුරුල්ලක් පිළිගන්වා තමා විවාහ වන ස්වාමියා හා යෑමට අවසර ගත යුතු ය. මෙහි දී යොදා ගන්නේ බුලත් කොළ සියයකින් යුතු බුලත් අතකි.
සිංහල සංස්කෘතියේ ආහාර සඳහා හිමිවන්නේ ද විශේෂ ස්ථානයකි. විවිධ වර්ගයේ ආහාර වර්ග අතර බුලතින් සංග‍්‍රහ කිරීම ද අත්‍යවශ්‍ය අංගයක් විය. අතීත ගැමියන් බතින් පමණක් නො ව බුලතින් සංග‍්‍රහ කිරීම උදක් ම බලාපොරොත්තු වූයේ ය.
කන්න අපටත් බත් දුන්නා
බොන්න වතුර ගෙන දුන්නා
කන්න බුලත් නැත ගෙන්නා
යන්න ගමට සිහි වෙන්නා
ජන කවියා බුලතින් සංග‍්‍රහ නො කර ආහාර පිළිගැන්වීමක් පිළිබඳ සිය අප‍්‍රසාදය පළ කර ඇත්තේ මෙසේ ය. අද ද සිංහල අලූත් අවුරුද්ද බතින් බුලතින් නො අඩු සංස්කෘතික උළෙලක් බවට පත් ව ඇත්තේ මේ හේතුව නිසා ය. බතින්, බුලතින් යන යෙදුමේ භාවාර්ථය වී ඇත්තේ කිසිවකින් කිසිදු අඩුපාඩුවක් නො තිබෙන්නක් බව ය. සිංහලයා සිය ප‍්‍රධාන සංස්කෘතික උළෙලක් වන සිංහල අලූත් අවුරුද්ද සඳහා බුලත් අතට මෙබඳු මූලික ස්ථානයක් ලබා දී ඇත්තේ එය හුදෙක් කොළ අතකට පමණක් සීමා නො කරමිනි. බුලතේ උපත ද ඒ වනාහි අනෙක් ශාඛවලට වඩා සුවිශේෂි වන බව ප‍්‍රකාශ කරන්නක් වීම ඊට ඉවහල් වන්නට ඇති හේතුසාධක වී තිබේ.
පෙරත් නාග ලොව සිටව ද ගෙන ආ    වේ
දළත් කඩා දැම්මයි පැල උනා         වේ
දියත් ඇදලා ම ඒ වැල         වැවී    මේ
බුලත් වැලට කිව් සන්නේ ද     මා    මේ
බුලත් වැල ජන කවියේ ප‍්‍රහේලිකා හෙවත් තේරවිලි සඳහා ද යොදා ගත්තකි. ඒ හැම තේරවිලි කවියකින් ම කිය වී ඇත්තේ බුලත, නාග ලොවින් ගෙන ආවක් බව ය. ඒ නිසා අද ද බුලත් කෑමට ගැනිමේ දී දෙ කොන කඩා කෑම සිරිතකි. ඒ, විෂ්ණූ දෙවියන්ගේ නැගණියන් වන මැණික්පාල බිසවට වූ කොඩිවිනය දුරු කිරීමට සිදු කළ සූනියම් ශාන්ති කර්මය සඳහා නාග ලෝකයේ සිට බුලත් කොළය දෙකට නමා නාගයෙක් සිය මුවින් ගෙන ආ නිසා ය. නාගයාගේ මුවේ වූ විෂ දෙකට නැවූ බුලත් කොළයේ තැවරීම හේතුකොට ගෙන අද ද බුලත් අනුභවයේ දී බුලත් කොළයේ දෙ කොණ කඩා දෑමිම සිරිතක් ලෙස කරනු ලබයි. බුලත් අතට සිංහල අලූත් අවුරුද්දේ ප‍්‍රමුඛස්ථානයක් හිමි වීමට මෙබඳු සංසිද්ධි රාශියක් හේතු වී තිබේ. පැරණි සිංහලයෝ කෙතරම් තරහ මරහ වී තිබුණ ද බුලත් අතක් රැුගෙන තමා හමුවට පැමිණේ නම් ඒ සියලූ නොහොඳ නරක අමතක කිරීමට තරම් යහපත් සිත් ඇත්තෝ වූහ. සිංහල අවුරුද්ද හා බැඳුණු බුලත් අත සංකේතවත් කරන්නේ ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන සිංහලයාගේ එම සාඩම්බරණීය ගති සිරිත යි.

හංසමාලා රිටිගහපොළ
.